Sunday, February 23, 2014

සුගතේ බාස්


සුගතේ බාස් කොළඹින් දුර බැහැර පිහිටි අපේ පුංචි වැඩබිමේ  හිටි උප කොන්ත්‍රාත් කාරයෙකි. හොඳ මේසන්  බාස් කෙනෙකි. මිනිස්සු විසිපහක් තිහක් තබාගෙන වැඩබිම කෙළවරේ වාඩි  ගසාගෙන සිටි ඔහු ඉදිවෙමින් තිබුණු ගොඩනැගිල්ලේ  කම්බි බැන්දේය. කොන්ක්‍රීට් දැම්මේය.ෂටරින් ගැසුවේය. යුහුසුළු කුහුඹු ගුලක්වන්  සුගතේ බාස් ගේ ගෝල පිරිස  මා ඒ වැඩබිමට යනවිට උද්යෝගයෙන්ම සිටි කණ්ඩායමයි.

ඔහු  උදේම සයිට් ඔෆිස් එකට ඇවිත් ගෝලයින්ගේ වියදම් සල්ලි ඉල්ලාගෙන යයි. එකාට සීය ගණනේ බෙදා දෙන විට පෝලිමේ  එන ගෝලයෝ එය ලබා ගනිති. මේ රුපියල් සීයෙන්  බුලත්විට, ප්ලේන්ටිය, බීඩි , සිගරැට්, දවල් කෑම මෙන්ම හවසට මල්පැන් වඩියකටද පිරිමසා ගන්නට පුළුවනි. උදේ හා රෑ කෑම වාඩියේම ඉදෙයි.

මාසේ අන්තිමට  මිනුම් ගෙන ගණන් හදා බිල පියවූ පසු සුගතේ  පඩි නඩි බේරා ගෝලයින් ගම්බිම්වලට පිටත් කර හරියි. ඉන්පසු ගමේ යාමට  කෝච්චියට නගියි. ඔහුගේ ගම්පාලාත හරිහමන් විදිහට කවුරුවත් දැන හිටියේ නැත.

ඔහු කිසි දිනක වැඩ බිම අවටින් ගෝලයන් හොයා ගත්තේ නැත. සිටියෝ මහියංගනය, අම්පාර වවුනියාව වැනි කොළඹට දුර බැහැර පලාත්වලිනි. මේ නිසාම කුඹුරු වැඩ කාලයට සුගතේ බාස්ට ගෝලබාලයන් හොයා ගැනීමට දහදුක් විඳින්නට සිදු වෙයි.

මේ කියන්නට යන කාලයේ සුගතේ බාස් සිටියේ සැහෙන හිත අමාරුවකිනි. ඒ වැඩබිමේ ගෝලයන්ට දිනපතා  වියදම්සල්ලි ගෙවන්නට සල්ලි පිළිවෙලකට නොලැබුණු හින්දය.

වැඩබිම් මුලිකයා කිව්වේ කොළඹ ඉඳන් වැඩබිමට සල්ලි ලැබුනේ නැති බවයි.
ඒ හන්දා වියදම් සල්ලි බෙදු ඉස්ටෝරුවේ අමරේට සිද්ද වුනේ  ඉතිරි වී තිබු මුදල් පිරිමසාගෙන රුපියල් සීය වෙනුවට පනහ බැගින් වියදම්සල්ලි ගෙවන්නටය. ගෝලයෝ  මුලින් මුලින් මේ ගැන කන්කෙඳිරි ගෑවෝය.

දවසක් දෙකක් යද්දී ඒ කෙඳිරි ගෑම මහා ගාලගෝට්ටියක්  බවට පත්වෙමින්  තිබුණි.
'මහත්තුරුන්ට කියන්න කොළඹ ගිහිල්ල හරි සල්ලි අරන් එන්න  කියලා.මෙහෙම පුලුවන්ද  කන්න බොන්න බුලත්විට නෑ . හවසට ඇඟේ අමාරුවට  පොඩ්ඩක් සප්පායම් වෙන්න නෑ'.

නහයෙන් අඬ අඬා  සුගතේ බාස් කිව්වේ 'පොඩ්ඩක් ඉවසපල්ලා කොල්ලනේ. ඔෆිස් එකට සල්ලි ඇවිත් නැතිව ඇති. සල්ලි තියෙනවනම් ඒ මහත්තයා නොදී ඉන්නවායැ ?

ඔහොම තියෙද්දී එක දවසක් වියදම් සල්ලි සතයක්වත් ගෙවන්නට තිබ්බේ නැත. උදේ ඉඳන් ඔරොප්පු වී සිටි ගෝල පිරිස වැඩ වර්ජනය කර, තැන තැන  වාඩිලාගෙන සිය අවනඩුව එකිනෙකාට කියා ගනිමින් සිටියෝය. වෙනදා සුගතේ බාස්ට කීකරු ගෝලයෝ අද ඔහුව ශත පහකට කෙයාර් නොකරති.

ඒ අස්සේ දෙතුන් දෙනෙක් සුගතේ බාස් වටකරගෙන පරුෂ වචනයෙන් වැඩබිම් මුලිකයාට දොස් කියති. ඔහුට පහර දෙන්නට යන්නට සැරසෙති.

අලුතින් වැඩබිමට පත්වී ආ අපට ඔවුන් වචනයකින්වත් අරියාදු නොකරා වුවද දැන් දැන් වෙන්නට යන විජ්ජුම්බරය ගැන බියක්ද  බඩගින්නේ වේලෙන කම්කරුවන් පිරිස ගැන අනුකම්පාවක්ද මගේ හිතේ  ලියලයි.
සුගතේ බාස්ගේ කටහඬ  පුදුමාකාර ලෙස සැර වැඩිවී ඇත. ඔහුගේ අනුකම්පා හිත ගල් වී දැන් මහත්තුරුන් සමග කේන්තිය ඇවිස්සී ඇති සෙයකි.

"මම ඔය මිනිහ ගාව අවුරුදු දහයක් වැඩ කරලා  තියෙනවා.ඒ ඇඳුනුම් කමටයි ආවේ . උඹලා හිටපල්ලා මම හොඳින් හරි නරකින් හරි මේ මිනිහගෙන් සල්ලි අරන් එන්නම්කෝ'
සරම මදක් කෙළවරින්  උස්සා ගත්  සුගතේ බාස් හැල්මේ වැඩබිම් කන්තෝරුව දෙසට යන්නට සැරසෙයි. ඔහු වළක්වා තවත් ගොලොයෝ මොකක්දෝ වාදයෙකි.

මේ කලබගෑනිය මුසු පමාව අස්සේ මම වැඩබිම් කන්තෝරුවට  වේගයෙන් ගියේ වෙන්නට යන විනම්බෑසිය කල්තියා වැඩබිම් මුලික සෝමදාසට කියන්නටය. මොනා උනත් ඔහු අපේ ලොක්කාය.
අනිත් අතට සුගතේ බාස් පැමිණ දෙකක් කතා කර වියදම් සල්ලි කොහොමින් හෝ ලබා ගන්නවාට කැමැත්තක්ද මගේ හිතේ තිබිණි.

මම කන්තෝරුවට යනවිට සෝමදාස කාන්තා පත්තරයක් බලමින් නිවී සැනහිල්ලේ තනියම හිනාවෙමින්  සිටියේය.
'සොමදාස මහත්තයා අන්න මිනිස්සු හොඳටම ඇවිස්සිලා . ඉක්මනට සුගතේ බාස්ගේ ගෝලයින්ට වියදම් සල්ලි හොයලා දෙන්න වෙයි. උන්ට කන්න බොන්න නෑ කියලා අන්න වැඩ නවත්තලා'

සෝමරත්න පත්තරේ පිටුවක් පෙරලුවේය. මා කියන දේ මායිම් නොකළ ඔහු ' ඔව් ඉතින් පහුගිය ටිකේම මහන්සි  වුණ  එකේ උන් ඔය පොඩ්ඩක් නිවාඩුවේ හිටපුවාවේ'.

මුළු සයිට් එකේම වැඩ නවත්වෙලා මිනිස්සු ඇවිස්සිලා ඉද්දිත් සෙල්ලක්කාර නොසැලකිලිමත් හැසිරීමක් ඇති නල්ලමලේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් මට ලැබී ඇත.

' ඒ විතරක් නෙමෙයි අන්න උන් සෝමදාස මහත්තයාට ගහන්න එන්නත් ලැහැස්ති වෙනවා ' මම එසේ කියද්දී  මගේ හිතේ තියෙන වුවමනාවද එයමදැයි මට සිතුනි.

පත්තරෙන් මුණ මෑත් නොකරම සෝමදාස මෙසේ කිව්වේය;

' මල්ලි මේවගේ සයිට්වලට උඹ තාම අලුත් වැඩියි. ඒකයි මේ බොරු කලබලේ., මම දැන් අවුරුදු තිහක් විතර මේවගේ කරවෙලා තියෙන්නේ. ඔය නැති තැන කොච්චර කැ ගැහුවත්  එකෙක්වත් කෙලින්  ඔළුව උස්සලා මට මොකුත් කියයිද  බලපන්.
ඕනනම් සුගතේ කාරයා තවටිකකින් ඇවිල්ලා තෙපරබබා වටින් ගොඩින් සල්ලි ඉල්ලයි.  නැති සල්ලි කොහෙන් දෙන්නද? මම ඌව නවාගන්න හැටි බලපන්කෝ.

ඔහු හයියෙන් හිනා උනේය.

ඊට සුළු වෙලාවකට පස්සේ කන්තෝරු දොරකඩ එලිපත්තේ උගුර පාදන හඬක් අසුනේය. ඊළඟට සුගතේ බාස්ගේ කටහඬ.

ඔහු බලෙන්  වාගේ හඬේ කටෝර බවක් මවාගෙන .
'මහත්තයා මම ඇතුළට එනවා!' .

අපෙන් එකඟතාවයක් එන්නට පෙරම  ඔහු කාමරයට ඇතුළුවී සෝමදාසගේ මේසය  අබියස හිට ගත්තේය. නපුරු කරගන්නට තතනන බයාදු මුණකි ඔහුට තිබුනේ. ඕනිම බරපතල කතාවක් පටන් ගන්නට කලින් දහිරිය ගැනීමට සුගතේ බාස් කරන සුපුරුදු කාරිය ඇරඹුවේය.

බුලත් මුල ලිස්සේය. නාඹර බුලත් කොලයක් ගෙන හුණු තවරන්නට පටන් ගත්තේ කටේ දමාගත් පුවක් පළුව හපා පොඩි කරන ශබ්දය ඇසෙන අතරවාරයේය.

මේ අවසරයෙන් සෝමදාසගේ පළමු නැමිල්ලට සුගතේ අහු වුනේය.

මටත් දියන් බන් පුවක් කෑල්ලකුයි බුලත් කොලේකුයි. ඔය හැටි හුණු කන්ට හොඳ නෑ  මනුස්සයෝ.

සුගතේගේ සැරවර තරමක් බාල වුනේය.

ඔහු සීරුවට බුලත්විට දිග හැර දෝතින්ම සෝමදාස වෙත පෑවේය.

සෝමදාස ඕනෑවටත් වඩා වෙලා අරගෙන බුලත්කොළය හතරට නමා පුවක් කෑල්ල එක්කම  කටේ දමා හැපුවේය.  කාර්යාල ජනේලය ලඟට ගොස් චිරිස් ගා ලා කොළ පාට බුලත් කෙල පාරක් විද්දේය.

මේ බුලත් සෙල්ලම ඉවරවෙනතුරු නොඉවසිල්ලෙ සිටි සුගතේ බාස් කලකිරුණු ස්වරයෙන් සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය.

'මහත්තයෝ මගේ ගාව විසිඅට දෙනෙක් වැඩට ඉන්නවා'

ඔව් මන් දන්නවා ඇයි මදි වගේද?

'නෑ මහත්තයෝ උන් සේරෝටෝම  දවස් ගානකින් හරියට වියදම් සල්ලි දෙන්න බැරි වුනා. උන් මාව කන්නේ නැති එක විතරයි. දැන් කීයද වෙලාව. එකටත් කිට්ටුයි.  අද විසිඅට දෙනාටම දවල් කන්ඩ දෙන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි' කියමන් කමිස සාක්කුවේ උණ්ඩි කරගෙන සිටි රුපියල් පනහේ නෝට්ටුවක්  අතින් ලෙළ දෙව්වේය. ශෝකය හෝ කේන්තිය නිසා ඔහුගේ කටහඬ මෙන්ම අතැඟිලිද වෙවුලුවේය.

සෝමදාස නැගිට්ටේය. සෙමින් සුගතේ ලඟට ලංවී ඔහුගේ අතේ ලිහිල්ව රඳවාගෙන සිටි රුපියල් පනහ තමන්ගේ අතට ගත්තේය.

ඉන්පසු ඉස්ටෝරුව බලාගත් සමරේට කෑ  ගසා කතා කළේය.

දැන්නම් හරියයි. සමරේට කියලා වියදම් සල්ලි දෙන්නයි යන්නේ. මට සිතුනි. සුගතේ බාස්ටත් එසේ සිතෙන බව ඔහුගේ මුහුණෙන් පෙනෙයි.

සමරේ ආවේය. ඔහු දෙසට රුපියල් පනහ දිගු කල සෝමදාස මෙසේ කිව්වේය.
' සමරේ මම තාම උදේට කාල නෑ . තරහ නැතිව මට මාළු පාන් එකකුයි ප්ලේන්ටියකුයි සිකරට් එකකුයි ගෙනෙන්'.

සමරේ නික්ම ගිය පසු ' සුගතේ බාස්‌ගේ ප්‍රතිචාරය පුදුමාකාර විය.

තමන්ගේ අතේ තිබු පිච්චියද උදුරා ගත් මේ මිනිසාගේ ඇඟට ගොඩ වෙනවා වෙනුවට ඔහු කිව්වේ;
 'එහෙනම් මහත්තයා හෙඩ් ඔෆිස් එකට කාව හරි යවලා සල්ලි ටිකක් කොහොම හරි ගෙන්න ගන්න බලන්න නැත්නම් අපේ වැඩේ තමයි පරක්කු වෙන්නේ. මම කොල්ලෝ ටික අද දවසට ෂේප් කරගන්න බලන්නන්කෝ'.

මේ වෙන දේ හිතා ගන්නට බැරිව සිටි මම සුගතේ බාස් පසුපසින් ගියේ ඔහු සිය ගෝලයින්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්නටය.

' පුතාලා මම හාඩ්වවෙයාර් එකේ මුදලාලිගෙන් කීයක් හරි වියදමට ඉල්ලාගෙන එන්නම් .
පව් බන් අපි දවල්ට කන්න නෑ කියලා සල්ලි ඉල්ලලා අරෝවට ගියාට අර සෝමදාස මහත්තයා තාම උදේට කාලත් නෑ .බලපල්ලා මේ හෙඩ්  ඔෆිස් එකේ ඉන්න අනුකම්පාවක් නැති උන් සැපට එහෙ ඉන්නවා මෙහෙ අපිත් දුක් විඳිනවා . මහත්තුරුත් දුක් විඳිනවා.

සුගතේ බාස්ගේ ගෝල පිරිස බඩගින්න නිසා හෝ සෝමදාස මහත්තයා කෙරෙහි උපන්නා වූ අලුත් බඩේගින්දර නිසා හෝ කරබාගෙන තැන තැන ඇනබා ගත්තෝය.

මම ආපසු යනවිට සෝමදාස අර පත්තරයම බලමින් කකුල් දෙක මේසය උඩ තබාගෙන සිටියේය.
මගේ මේසය උඩ  තෙල් තැවරුණු බ්‍රව්න් පේපර් කවරයක දමා තිබු මාළුපාන් බාගය මම අසල තිබු කුණු කුඩයට හඬ නැගෙන සේ  විසි කර දැම්මෙමි.

මගේ නොමනාපය තේරුම් ගත්තාක් මෙන් ඔහු පත්තරය  දෙකට නවා පැත්තකින් තබා පුටුවේ  හරිබරි ගැසුනේය. වෙනදා නැති ස්වරයකින් හඬ අවදි කළේය.

'උඹ දන්නවද සුගතේගේ  කොල්ලන්ට කලින් මමයි ස්ට්‍රයික් කලේ. මම  ඔෆිස්  එකට ඊයෙම කිව්වා සල්ලි  එනකන් මම වැඩ නවත්වනවා . අදත් හම්බුන් නැත්නම්  කොල්ලෝ ටිකත් එක්ක කොළඹ එනවා කියලා .
'උදේ මම ආයිමත් කොළඹට කතා කරා.සල්ලි අරගෙන එකෙක් එහෙන් පිටත් වෙලා.දෙක විතර වෙනකොට මෙහෙට එයි'.

සෝමදාසත් සමග උදේ බඩ  පිරෙන්නට කෑ කිරිමාලු හා ඉඳිආප්ප සප්පායම හිතින් අමතක කර දමන්නට මම උත්සහ කළෙමි. 

(photo; samsungvillage.com)  

Thursday, February 13, 2014

ඔයා ආවම ඇති

මේ  චිත්‍රය අපේ ලොකුදෝනිට අඳින්න හිතුනේ එයැයිගේ තාත්තා මුලින්ම නැන්දා මාමා    දකින්නට ගිය දවසේ කතන්දරේ අහපුවාම . කෙල්ලගේ  වචනවලින්ම  මෙතැන ඉඳන් කතාව කියන්නම්. 

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
අම්මාගේ මව්පියන්  බැහැදකින්නට  තාත්තා මුලින්ම ආ දවසේ අපේ ආච්චී කැමතිම දෙයක් අරන් එන්න ඕනි නිසා තමයි රෝස පැළයක් ගෙනල්ල තියෙන්නේ . බණ්ඩාරවෙල ඉඳන් ගෙනාපු එකක් .

එදා තාත්තා ඇඳගෙන ඇවිල්ල තියෙන්නෙත් අම්මා අරන් දුන්න කමිසයක්. කොච්චර කලබලකාරයෙක්ද කියනවානම් ෂර්ට් කොලර් එකේ යටින් තියෙන කර්ඩ්බෝඩ් තීරුව අයින් කරලා තියෙන්නේ ආච්චිලා ගෙදරදී. එකත් අම්ම පෙන්නපුවාම. මේක කිය කියා අපේ ආච්චියි අම්මයි පස්සේ කාලෙකත් කොච්චරනම්  හිනා උනාද ?

අම්මා තමයි ආච්චී මල් පැළවලට ගොඩක් කැමතියි කියලා තියෙන්නේ. අපේ ආච්චී ( අම්මාගේ අම්මා ) තාත්තාට ගොඩක් ආදරය කළා. ඇය අසනීපෙන් සිටි දවස්වල තාත්තා ගැන නිතරම කියෙව්වා. කවද්ද තාත්තා එන්නේ කියා කියා අපිටත් වඩා ඇහැව්වා.

'අනේ ඒ ළමයට අලුත් ඇඳුම් ටිකක් අරන් තියන්න මේ පාර ආවම  . මේ දවස්වල කෑම බීම කොහොමද දන්නෙත් නෑ . කෙට්ටු වෙලා ඇති.'

ඒ දවස්වලත් තාත්තා ලංකාවේ හිටියේ නෑ .

ආච්චී අපිව දාලා දිවියලෝකේ ගියාට පස්සේ අපේ මුළු ගෙදරම වසාගත්ත පාලු  කාංසාව ලේසියෙන් මකා ගන්න බැරි උනා . තාත්තා රට රස්සාවත් දමලා ගහල අපිත් එක්ක නතරවුණේ ඒ හින්දයි.

ආච්චී ගැන කියන්න කතන්දර ගොඩක් තියෙනවා.

 ඒත් මට මේක ලියන්න හිතුනේ අපේ තාත්තා අද දවසෙත් ගෙදර නැති එක ගැන හිතේ තියෙන අමාරුව පිට කර ගන්න බැරිව.  ගිය අවුරුද්දේ නම් තාත්තා නොකියාම රට ඉඳන් ඇවිත් අපිව සර්ප්‍රය්ස් කරා.

අපි බලාගෙන ඉන්නේ තාත්තා රෝස මලකුත් අරගෙන හොරෙන් හොරෙන් ඇවිල්ල අපේ ගෙදර දොරට තට්ටු කරයි කියලා. ඒ වැලන්ටයින් දවස හින්දා නෙවෙයි. මීට අවුරුදු ගණනාවකට කලින් පෙබරවාරි මාසේ මැද හරියේ දවසක සිද්ද වෙච්ච විශේෂ දෙයක් හින්දා.

අපේ තාත්තා කොළඹ තියෙන මහා රූස්ස  තට්ටු ගොඩනැගිලි අලුත්වැඩියා කරන කොම්පැනියක වැඩ කළාලු. ඒ ගොඩනැගිල්ලට අතුරු අන්තරා වෙලා තියෙන්නේ මහා බැංකු බෝම්බෙනුයි ඊට පස්සේ ගලදාරි හෝටලේ ළඟ පුපුරපු බෝම්බෙනුයි. මුලින්ම පුපුරපු මහා බැංකු බෝම්බෙන් පස්සේ අර ලංකාවේ උසම නිවුන් පිට්ටු බම්බු ගොඩනැගිලි දෙකටත් සෑහෙන හානි උනා.

ඒකේ අලුත්වැඩියාවන් තමයි ඒ දවස්වල තාත්තලා පටන් අරන් තියෙනේ, එහෙම කරගෙන යනකොට තමයි ගලදාරි හෝටලේ ළඟ බොම්බේ පුපුරලා තියෙන්නේ. එදා නිවාඩු දවසක් වෙච්ච නිසා තමයි මේ කතාව මෙහෙම කියන්න පුළුවන් වුනේ. මොකද එදා තාත්තලා සයිට් ඔෆිස් එකටත් හානි වෙලා. තාත්තා සාමාන්‍යයෙන් වාඩිවෙන පුටුව තිබ්බලු අඩි විස්සක් විතර ඈතින් පෙරළිලා.

ඊටත් පස්සේ උදාවෙච්ච මේ කියන දවසේ තාත්තා වැඩට ගිහින් තියෙන්නේ වැඩ ටික කාට හරි පවරලා ඉක්මනින් ආපහු එනවා කියලා අම්මට පොරොන්දු වෙලා. අම්මා ලෙඩ ඇන්දේ ඉද්දි අම්මගේ ඔලුවත් අතගාලා.

ඒත් වැඩට යනකොට ලොකු රැස්වීමකට ලක ලැහැස්ති වෙනවාලු. පිටරට සමාගම් ගොඩක සුදු මහත්තුරු ලංකාවේ ඉංජිනේරුවරු මහා ගොඩක්. ඉතින් තාත්තට මේ රැස්වීමට ඉන්නම වෙලා. එයාගේ කොම්පැනියෙන්  තව ඔස්ට්‍රලියන් ජාතිකයෙකුයි තාත්තයි දෙන්න විතරයි ඉඳල තියෙන්නේ.

තාත්තා සුදු යාළුවාට යන ගමන් කිව්වලු 'මම මේ රැස්වීමට ගියාට මම ඉන්නේ පුදුම චකිතයකින්. මට රැස්වීමේ වැඩවලට හරියට මුහුණ දෙන්න බැරි වෙයිද දන්නේ නෑ' කියලා.

එයා තාත්තගේ අත තදින් අල්ලාගෙන කිව්වලු:
 'මට තේරෙනවා ඔයා ඉන්න තත්වේ ඒත් මේක රටවල් ගොඩක කට්ටිය එකතු වෙලා කරන වැදගත්ම සාකච්චාවක් . අපේ සමාගම නියෝජනය කරන්න ඔයා ඕනිම නිසා පොඩ්ඩක් හරි ඉඳලා යන්න . මට කරන ලොකු උදව්වක්. මමත් මෙහෙට අලුත් නිසා පසුගිය වැඩවල ප්‍රගතිය අලුත් සැලසුම් මොකුත්ම දන්නේ නෑ' කියල

කොහොම කොහොම හරි රැස්වීම පටන් ගත්තාම මුලින්ම මතුවෙලා ඇවිත් තියෙන්නේ වීදුරු හා දොර ජනෙල් පිළිසකර කරන හැටි ගැන. තාත්තාගෙන් මුලාසනේ හිටි යුදෙව් ජාතිකයා ඒ ගැන ඇහුවම තාත්තා බර කල්පනවකලු.

ඊට පස්සේ යුදෙව් ජාතිකයා  ඇහුවලු 'ඔයාට අද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද? වෙනදා ප්‍රගතිය ගැන සැලසුම් ගැන එපා වෙනකන් කතා කරන මනුස්සයා අද මනෝ ගහගෙන' කියලා. ඊට පස්සේ තාත්තගේ සුදු යාලුවා රික් මුලාසනේ ලඟට ගිහින් හෙමින් රහසක් කිව්වලු.

'ආ එහෙම එකක්නම්. අපි රැස්වීම කල් දාමු කිව්වා' . හැමෝම කිසිම අමනාපයක් නැතිව නැගිටලා තාත්තගේ අත මිරිකලා හෙට හම්බ වෙමු අපි කියල ගියාලු.

තාත්තා විදිලි වේගෙන් ඇවිල්ල තියෙන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකට. සීයාත් ආච්චීත් කනස්සලු මුනෙන් කොරිදොරේ ඉන්නවා. තාත්තා දැක්කම ඒ දෙන්නාම තාත්තගේ ඇඟේ එල්ලුනාලු.

'බලන්නකෝ දැන් කොච්චර වෙලාද . තාම තොරතුරක් නෑ' .

එතකොට ආපු නර්ස් කෙනෙක් ලඟට ගියපු තාත්තා එයත් එක්ක මහා කලබලෙන් මොනවද මුණු මුණු ගාල තියෙනවා. නර්ස් නෝනා 'ඉන්න මන් බලන්නම්'කියල ගියා ගියාමලු . තවත් පැයක්  විතර යනකන් කිසිම ආරංචියක් නැතිව.

ඊළඟට අර නර්ස්ම කඩිමුඩියේ තාත්තා හොයාගෙන ඈවිත් මෙහෙම කිව්වලු.

'දුවෙක් ඉන්නවා , 'දෙන්නම සනීපෙන් ඉන්නවා' කන්ග්රැජුලේෂන්ස් !

සන්තෝසේ දරා ගන්න බැරි  වෙච්ච පාර තාත්තා ඒ වෙලාවේ නර්ස් නෝනාව බදාගෙන ස්තුති කරන්න ගිය එක සීයයි ආච්චියි තමයි යන්තන් වළක්කගෙන තියෙන්නේ . ඒ වෙනුවට සීයයි ආච්චියි තාත්තයි තුන් දෙනා බදාගෙන සතුටු උනාලු.

තාත්තාට තාමත් මාව හීනෙන් පෙන්නේ එදා මාව ඉස්ඉස්සෙල්ල දැක්ක හැටියටළු. චුටි කොළපාට රෙදි කෑල්ලක ඔතලා පුංචි ට්‍රොලියක දාගෙන එනකොට තාත්තා හොස්පිටල් කොරිඩොර් එකේ උඩ  පැනලා නැටුවේ නැති එක විතරයි කියලයි ආච්චි කිව්වේ.

අනේ ඉක්මනට ගෙදර එන්නකෝ තාත්තේ. රෝස පැලත්  එපා , චෝකලටුත් එපා. කේකුත් එපා.
ඔයා ආවම ඇති.

Wednesday, February 5, 2014

රිදී පහන් වැට


පේ ගෙදර බොහොම වයසැති චිමිනි ලාම්පුවක් තිබුනේය. මේ කියන ලාම්පුව  ඒ කාලේ අප සිටි ගුරුනිවාසයේ තිබු වටිනාම බඩු  මුට්ටු කිහිපයෙන් එකකි.එය  මට මතක කාලයේ හිටන් අපේ ගෙදර තිබුනේය. හැත්තෑහතර  අවුරුද්දේ දවසක් තාත්තා උදෙන් කොළඹ යන්නට ලැස්ති වී අපි සියලු දෙනාම  ඇහැරවන විට පවා  කළුවර තුරන්වී නොතිබිණි. පාන්දර පහට විතර වෙන්නට ඇති.

පුතේ නැගිටලා බලන්න . අයියලා ඇඳ  යට බලන්න . අක්කලා දොර මුල්ලේ බලන්න .

මොකක්ද නැති වෙලා තියෙන්නේ.?

 තාත්තගේ  සපත්තු දෙක

ඒ කාලයේ තාත්තා සුදෝසුදු නැෂනල් සුට් එක ඇඳ  කළු සපත්තු දෙකක් දැම්මේ විශේෂ ගමනක් යනකොට පමණි.  ඉතින් සපත්තු තියන්නට ව්ශේෂ තැනක් නොතිබුණු  අපේ ගෙදර දොර මුල්ලක හෝ ඇඳක් යට සඟවා තැබෙන සපත්තු දෙක මාස ගණනකට වරක් එලියට එයි. එක වරක් එසේ සොයා  ගත් සපත්තුවට කකුල  දමද්දීම තාත්තා කෑ ගසාගෙන කකුල එලියට ගත්තේය.
කකුල  එලියට ආ අතර එය පසු පස ආවේ මරහඬතලාගෙන (ඒක ඇහුනේ නැත. මට හිතුනු ශබ්දයකි)  තඩි ගෙම්බෙකි.

මද කළුවරේ තාත්තාගේ සපත්තු හොයන්නට පළමුවෙන්  වුවමනා දේ ටෝච්  එකයි.ඒකත්  කොහේදෝ කියා හොයා ගන්නට .නැත.
අයියා නිදිමතේ වැනි වැනී  සාලේ  තිබුණු  චිමිනි  ලාම්පුව අතට ගත්තේ ටෝච් එක වෙනුවටය.

චිමිනි ලාම්පුව පෙරලී බිම වැටුනේය. චිමිනිය කුඩු වී  ගොස් ලාම්පුව පෙරලී ගියේය. වාසනාවකට චිමිනිය පමණක් කුඩු පට්ටම් වී හැම තැනම ගිනි ඇවිලෙන්නේ නැතිව ලාම්පුව නිවී ගියේය. වීදුරු කටු තිබෙන නිසා දවල් වෙලා ඒවා අහුලන තුරු කටු විසිරුණු කලාපය ගෝනි පඩන්ගුවලින් වසා දැමීමට අම්මා පියවර ගත්තාය.
අයියාට එහෙන් මෙහෙන් තරවටු  එල්ල විය.
බොරු කලබලේ! පරිස්සමක් නෑ . ඔච්චර නිදිමතද ඉලන්දාරියා .

අයියාට ටිකක් බනිද්දී මට ජොලියක් ගියේ කලින් දා රෑ නිදා ගන්න ගොස් ඇඳේ අයින බෙදා ගන්නට බැරිව අපි දෙන්නා අතර දිග්ගැහුණු අරෝව ඒ වෙනකොටත් වියැකී  ගොස් නොතිබුණු නිසාය.

තාත්තා පිටත්ව ගිය පසු අපි නිදා ගත්තෙමු. දහවල් වී ඇහැරෙන විට අම්මා  ලාම්පු චිමිනියේ වීදුරු කටු ඉවත් කර ගේ අතු පතු ගා කිරිහොදියි බතුයි පිගන් වලට බෙදා තිබුණාය.

මම චිමිනිය අහිමිව මේසේ කෙළවරක බලියාගෙන සිටින ලාම්පුව දෙස බලා සිටිද්දී එහි පිත්තල බඳ  තැලී ගොස් තිබෙනවා දුටුවෙමි. අයියාට ටිකක් තද දඬුවමක් අරන් දෙන්න ලැබුණු චාන්ස්  එක.
'මෙන්න අම්මේ අයියා  චිමිනිය විතරක් නෙවයි පිත්තල ලාම්පුවත් බිඳලා'.මම කේලම ඇද බෑවෙමි.

අම්මා ලඟට ආවාය. හොඳින් ලාම්පුව දෙස බලා සිට මුවට මදහසක් නංවා ගත්තාය. ඕක ඉස්සර තැලිච්ච එකක්.

ඒ කොහොමද කවදාද? අපේ ඔවිනි මෙන් දවසකට ප්‍රශ්න හාරසීයක් විතර අහන මම අම්මා උත්තරේ දෙන තුරු චීත්ත පොටේ දැවටී දැවටී එකම ප්‍රශ්නය අහුවෙමි.
අම්මා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ  ඊට අවුරුදු ගානකට පස්සේ දවසකය. හැබැයි ඇය මුළු කතාවම කිව්වේ වරින්වර සෞම්‍ය කල්පනාවල නියැලෙමින් තනිවම හිනා වෙමිනි.

පිත්තල ලාම්පුව තැලී තිබුනේ මොකක්දෝ පුංචි කාරනාවකින් පටන් ගත් දබරයකදී කේන්තිය පිටකරගනීමට බැරිව තාත්තා විසින් ලාම්පුව අල්ලා පොළොවේ ගසා තිබු නිසාය.

ඒත් ප්‍රහේලිකාවක්‌  මගේ හිතේ නලියයි. ඇයි  තාත්තා එදා මේ තරම් නපුරු වුනේ , තාත්තා හරිම අසාදාරණයිනේ ?

මා  මුවින් නොඇසූ ප්‍රශ්නවලට අම්මා පිළිතුරු දුන්නාය.
තාත්තා දන්නා තෙක්කට  බඩුවක් මුට්ටුවක් පොළොවේ ගහලා තියෙන්නේ එදා තමයි. ආයේ කවදාවත් ඒ තරම්  රණ්ඩු  වුනෙත් නෑ.
මිනිහෙකුට කේන්ති යන්න ඉතින් හේතුවක් අහේතුවක් තියෙන්න ඕනියෑ .

අමමා තාත්තාට සැලකුවේ භක්තිමත් ගුරුවරයෙකුට මෙන්ය. එයටද හේතුවක් තිබෙයි . තාත්තා  හා හා පුරා උගන්වන්නට ආ පාසලේ ජෙෂ්ට පන්තියේ සිටි සිත්ගත් සිසුවිය අම්මාය. මේ ආදර කතාව ඉන් එහාට මල් පල ගැන්වී සුන්දර ආදර කතාවක් බවට පත් විය.

 අම්මා  හා තාත්තා දබර කරගත් තව  දවසක් මට මතකය. ඒ මහපතනේ මුත්තා මියගිය දවසේය. අපිට දුරින්වත් නෑයෙකු නොවන මහපතනේ මුත්තා හදිස්සියේ මිය ගිය දවසේ කුස්සියේ කෙරුණු කතා බහ මේ විදිහය ;
‘අම්මා දැන් මයේ හිතේ උන්දැට හැත්තෑපහක් විතර වෙනවා ඇති’.
‘මොන ඊට වැඩියි අසුවත් පැනලා ඇති . අපි දන්නා කාලෙත් වයසයිනේ.’
‘එච්චර වෙන්නේ කොහෙද උන්දැගේ පොඩි දුවට තාම අවුරුදු විස්සක් ඇති’
නෑ!  කාට?  එයාට   තිහ පැනලා ඇති.
මෙන්න මෙහෙම පටන් ගත්  කතාව ටිකකින් දුරදිග ගියේය
අසුවයි !
නෑ  හැත්තෑපහයි !
තාත්තා   දඩස් ගා පුටුව තල්ලු කළේය
හැත්තෑපහ තමයි දන් නැති දේවල් කතා කරන්න එපා.

 මං කියන කිසි දෙයක් පිලි ගන්නේ නෑ . හැමදාම ඔහොමයි. හැමදේම ඔහොමයි.අම්මා හඬන්නට පටන් ගත්තාය
දබරය  දුර දිග ගොස් අම්මාත් තාත්තාත් එදා කෑම කෑවේත්  නැත.
 අම්මා අඬ අඬා කියවයි. තාත්තා කේන්තියෙන් ගේවටේ සක්මන් කරයි.

මේ මොන විකාරයක්ද  කොහෙවත් ඉන්න,මැරිච්ච මිනිහෙක්ගේ වයස ගැන වාද වෙලා මේ දෙන්නා  රණ්ඩු කරනවා හරියට පොඩි උන් වගෙයි .අක්කාට  හොඳටෝම කේන්ති ගිහිල්ලය.

මේ දෙන්නා අතර මත ගැටුම් වල දරුණුම අවස්ථා දෙක ලෙස මට මතක තිබෙන්නේ ඔය කියාපු සිද්දීන් දෙකය. ඒත් අම්මා වඩාත් කැමති සාස්තර ඇසීම්, පේන  ඇසීම් තෙල් මැතිරිලි ආදියට තාත්තා එක හෙලා උදැල්ල දැමුවේය. මේ ආදී සුළු සුළු හේතු නිසා දෙන්නාගේ නොහොඳ නෝක්කාඩු ඇති උනත්  එක වරුවකට වඩා පවතින අමනාප වීමක් තිබුනේම නැති බව මට ඒකාන්තයෙන්ම විශ්වාශය.

පිත්තල   ලාම්පුව කෙසේ වෙතත්  පහුගිය දශක හයක් තිස්සේ ඔවුන් එක්කාසු වී අලුතින් දැල්වූ ආදරය, නැණ  නුවන , නොසැලෙන ගුණය ආදී විවිධ වර්ගයේ  පහන් පෙළ පරම්පරාවන්   විනිවිද යමින් දිගින් දිගටම එලිය විහිදුවනු ඇත. ඒ පහන් වැටියේ ආලෝකයෙන් වැඩිපුරම පෙන්නුම් කරන්නේ සැප සම්පත් සීමිත ලෝකයකදී උනත්, එකිනෙකාට   අසීමිතව ආදරය කරන හැටියි.

අපේ අම්මයි තාත්තයි එකවහලක් යටටවිත් හැටවන වසර එළඹ තිබේ..මේ දෙන්නාට දෙන්නා ළඟ නැතිව අදද එක දවසක්වත් ඉන්නට  අපහසුය.


(චිත්‍රය ඇන්දේ ඔවිනි )