Tuesday, July 15, 2014

අසිරිමත් මොළය හා තුන්වරක් තිස්ස


බට  ලෝකය වටා හතරපාරක් ගිහින් එන්නට කියා කවුරුහරි කීවොත් අනේ අම්මේ කොච්චර දුරක්ද කියා හිතේවි. ඒත් දන්නවද වැඩක් ? අපේ මොලයේ ඇති සියුම් ස්නායු තන්තු සියල්ලේ මුළු දුර  අර කිව්වා විදිහේ ලෝකය වටා හතර පාරක් ගිහින් එන දුරට ආසන්නයි. ඒ විතරක්ද කුඩා නියුරෝන බිලියන් අසුවක් පමණද ඒවා අතර මුට්ටු ට්‍රිලියන දහයක් පමණද තිබෙන බව අනුමාන කෙරෙයි. අපිට නිතිපතා ලියන්ට කියවන්ට , එහෙ මෙහෙ යාමට, කල්පනා කිරීමට , සැලසුම් කිරීමට  අවැසි සෑම දෙයක්ම පාලනය කරන්නේ මෙවායින්ලු.

මේ සා සංකීර්ණ මිනිස් මොළය ගැන කතා කරන්නට යාමේදී  මට තිස්සලා තුන් දෙනෙක් සිහියට නැගේ.

පළමු තිස්ස
මම මුලින්ම තිස්සලා ගෙදර ගියේ ගැමුණුත්  සමග උසස් පෙළ ලියා ගෙදර හිටි සමයේදීය . තේ වතු යායක්  අතරින් හොරෙන් රිංගා යන වට වංගු පාර දිගේ ගිය බසය පුංචි නාන පීල්ලක්  අසබඩ නතර කළේය. අපි  එතනින් බැස  ගල් පඩි පෙළ දිගේ ඉහළට ඉහළට බඩ  ගෑවෙමු  . අප්පා නැග්ගා නැග්ගා. දැන් කඳු මුදුනත සානුවක් දිගේ ගමන් කරමු  . තේ වතුයාය හමාර වී ගම්මානය එළඹ ඇත.
අර තියෙන්නේ තිස්සලා කුඹුර.

බෑවුමේ පුංචි බේසමක් වන් වළක හෙල්මළු ලියදි වලින් හැඩ වැඩ  වී  මනරම් වූ කුඹුරු කෑල්ල පිහිටියේය. තැන තැන උස්ව වැදුණු ගස් කීපයක් නිසා හාත්පස සුන්දරව පෙනුනේය. අලි කාකි තොප්පියක් දාගෙන කොට කලිසමක් ඇදගෙන ලියදි අතරේ මහා හයියෙන්  උරුහම් බාමින් ඇවිදින්නේ තිස්සය.
එදා ඔහු ලියදි පුරා සැහැල්ලුවෙන් සින්දු කියමින් දුව පැන ගිය  හැටි මට අමතක නොවේ .

දෙවන තිස්ස

තිස්සත් මමත් සරසවි බිමේදී කතා කරමින් සිටියෙමු , ඔහු දොස්තර කෙනෙකු වන්නට ඉගෙනීම අරඹා ඇත .ඒ පීඨයේ මුල්ම දවස් කීපයයි.
'මචන් හරි වැඩේනේ මට මේ ඉංග්‍රීසි  තව හදා ගන් නැතිව කෝස්  එක කරගෙන යන්න අමාරුයි. ඒ නිසාම  එහෙන් මෙහෙන් කැපිලි ටිකක් එනවා' කියා කීවේ තරමක හිතේ අමාරුවෙනි.
ඊළඟට දෙවැනි අවුරුද්දේදී ඔහු බැච් එකේම පළමුවැනියා හෝ දෙවනියා වී ඒ හිතේ අමාරුව ප්‍රමෝදයක් බවට හරවාගෙන තිබුනේය.

ඔය කාලයේම මම දෙවන තිස්සත් සමග  විදුසර පත්තරේකට එක එක විදිහේ ලිපි ලියමින් සිටියෙමු. අපි කලේ තැන තැන ඇවිද අපුරු මිනිසුන් සොබා සම්පත් ගැන පත්තරේට ලිවීමය. වරෙක හොර්ටන් තැන්නේ ඇවිද ගොස් කඳුකර වැසි  වනාන්තරය ගැන හොයා සතියේ විශේෂාංගයක් ලිව්වෙමු. කඳුකරයේ අර්තාපල් වගාවට වින  කරන  අලුත් බැක්ටීරියාවක් ගැන  ලිව්වෙමු .

මේ අතරේ අපට ආරංචි වුනේ වී වර්ග කිහිපයක්ම අලුතින් හඳුන්වා දුන් විද්වතෙක්  කුරුණෑගලට නුදුරු පර්යේෂණායතනයක සිටිනා බවය. ඔහු ගැනත් ලියන්නට අපි දෙදෙනා ඔහු සොයා යන්නට තීරණය කළෙමු. උදේම  අරුනාචලම් ශාලාවෙන් හීල වැළඳු අපි දවල් දහය පමණ වන විට ඉබ්බාගමුවට  පැමිණියෙමු. පර්යේෂණායතනයට ගොඩ වී අර විද්වතා ගැන ඇසු විට අපට ලැබුනේ කිසි සේත්  බලාපොරොත්තු නොවූ උත්තරයකි.

අනේ ඒ මහත්තයා අසනීප වෙලා මෙහෙන් අයින් වුනා. දැන් කල්පනාව අඩුයි. නිතර අමතක වෙනවා. ටිකක් කේන්තිත් යනවා. අත් උදව්වට ඔය මෙහෙන් කව්රුහරි ගිහින් තාමත් උදව් වෙනවා.

'අනේ ඉන්න තැනක් කියන්න අපි ගිහින් හම්බ වෙන්නම්'.

එහෙත් අපිට හමු වූ නිලධාරීන් කිව්වේ අපව දිරිමත් කරන කතා නොවේ.
'එයා අසනීපෙන් ඉන්නේ කවුරුවත් එනවට කැමති නෑ' .

'කමක් නෑ අපිට පාර කියන්න' . අපි පෙරැත්ත කර පාර  අසා ගත්තෙමු.

අපි ඒ මහා  පර්යේෂකයා සොයා ගියෙමු. ඒ ගෙදර තරමක් පරණ තාලේ විශාල එකක් විය. එය නෙක නෙක පළවැල පිරුණු ගෙඋයනක් මැද පිහිටියා වුවද පාලු සිරියක් ගත්තේය. පාර අයිනේ වූ මලකඩ කෑ යකඩ ගේට්ටුව අගුලු ලා නොතිබිණි. එහෙත් එය අරගෙන වත්තට ඇතුළු වීමට අපට දිරියක් නොවුනේ, කළු, තඩි නපුරු පහේ බල්ලන් දෙදෙනෙක් මිදුලේ  කුසීතව බුදියාගෙන සිටි බැවිනි.

අපි පාරේ සිට කතා කළෙමු.  ගෙදර කවුදෝ? ගෙදර කවුදෝ ? අපි පත්තරෙන් ආවේ .

ගෙදර දොර ජනෙල් ඇර දමා තිබෙන නිසා කවුරුන් හෝ නිවසේ සිටිනා බව ඉතා පැහැදිලිය.
මම පාරේ වැටී තිබු යකඩ කුරු කැබැල්ලක් ගෙන හඬ නැගෙන සේ ගේට්ටුවට තඩි බෑවෙමි . මේ සියල්ල සිදුවන අතරේ ගෙදර බල්ලන් දෙන්නා වගේ වගක් නැතිව කුසීතව බුදියාගෙන සිටියෝය.

අපේ කන්කරච්චලය මැද්දේ  උගුර පාදන හඬක් ඇසුණි .  බස්තමක් අතින් ගත් වයස්ගත උනත් ආරෝහ පරිණාහ දේහධාරී පුද්ගලයක් හෙමින් ගෙදර දොරකඩට පැමිණ හිට ගත්තේය. ඔහුගේ කට හඬ තීව්රව මතු වුනේය.
'යනවා යන්න !'

එවිට බල්ලන් දෙදෙනා නැගිට අපට බුරන්නට පටන් ගත්තත් උන් අඩියක්වත් සෙලවුනේ නැත.

විද්‍යා පත්තරවලට  ලියන සරසවි කොල්ලන් දෙදෙනාට මීට පෙර ගිය හැම  තැනකදීමනම්  හොඳ පිළිගැනීමක් සැලකිල්ලක්  ලැබිණි. එනිසා මෙතුමාටද කරුණු හරියට පෙන්වා දුන්නොත්  අපට සම්මුඛ සාකච්චාවක් ලබා දෙනු ඇත .

අපි ගේට්ටුවට මෑතින් හිටගෙනම  කිව්වෙමු .
' අපි පත්තරෙන් ආවේ මහත්තයාගෙන් පොඩි සාකච්චාවක් ගන්න, පොඩ්ඩකට ඇතුලට එන්නද?

ඉන්පසු ඔහු බස්තමේ වාරුවෙන් අඩියක් ඉස්සරහට පැමිණියේය.
මිටි තාප්පය අල්ලාගෙන බස්තම  ඉහලට උස්සා අපට සැර දැම්මේය.

පත්තරෙන්  නෙවෙයි මොකෙන් උනත් එපා දුවපියව් යන්න.!
කියා  කීවේ පැත්ත පළාතටම ඇහෙන හඬකිනි.

මෙතෙක් වෙලා එකතැන බුදියාගෙන  බුහ්  බුහ්  ගාමින් සිටි අර යක්ෂ බල්ලන් දෙදෙනා තම ස්වාමියා සතුටු කරවන්ට මෙන් වහා ක්‍රියාත්මක  මිනීමරු  වෘකයන් දෙදෙනෙකුගේ  මාරාවේශයෙන් අප සිටි  දෙසට දිව ආවේ එවිටය .

අතේ තිබු තඩි සෙනිත් කමරාව බදාහත් මමද  කඩදාසි පයිල්  කවරය තදින් ගත් තිස්සද දෙපයට ගතේම වාරු දී දුවන්නට පටන් ගත්තෙමු.

තවදුරටත් අනතුරක් නැතැයි  සිතෙන තරම් දුරක් දිව ආ අපි දෙදෙනා බෝක්කු කණු දෙකක් මත වාඩි  වී හති හළමින් උනුනුන් දෙස බලා සිටියෙමු. තිස්සගේ බැල්ම මට තාමත් මතකය. බිය සන්ත්‍රාසය. ආත්මානුකාව මැදින් සිදුවීමේ හාස්‍යයද ඔහු විඳිමින් සිටියේය.

අප දෙදෙනා පත්තර වලට ලියන්නට දේ සොයමින් එක්ව ගිය අවසන් චාරිකාව එයයි.

ඉන්පසු තිස්ස දිගින් දිගටම පිළිවෙලකට වෛද්‍ය විද්‍යා හා මනෝ විද්‍යාත්මක ලිපි ඉතා සරල බසින් පත්තරවලට ලිව්වේය. මමත් අපිළිවෙල පත්තර ගමනක් ගියෙමි.

තුන්වන තිස්ස
එදා අපව එලවා ගත් විද්වතා මෙන්ම ලෝ පුරා මිලියන  ගානක් සිටින අමතක වීමේ රෝගයෙන් හෝ  අංශ බාග රෝගයෙන් පෙළෙන්නන් වෙනුවෙන් මහා වැඩ කොටසක් කරන ලොව ප්‍රමුඛ පෙළේ  විද්වතෙකු  සිටියි ..
ඕස්ට්‍රේලියාවේ සුපතල රෝහලක  ස්නායු  විද්‍යා ඒකකයේ අද්යෂක වරයාද, සරසවි කතිකාචාර්යවරකුද   වන මහාචාර්ය තිස්ස විජේරත්න ලෝක ස්නායු විද්‍යා ෆෙදරෂණය වෙනුවෙන් ලෝ පුරා ඇවිදිමින් දැවැන්ත මෙහෙයක් කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ රෝහල්වල අංශ බාග රෝගීන් සඳහා වෙනම ප්‍රතිකාර එකක ඇති කිරීමට ඔහු සෑහෙන දුරට සම්මාදම් වුනේය. එය තවදුරටත් කරමින් සිටී.

එන ජුලි 22 වැනිදාට යෙදෙන ලෝක මොළ දිනය නිමිත්තෙන් ලෝ පුරා බෙදා හරින දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවේ නිර්මාපකයාද ඔහුය.සරල හුරු බුහුටි කාටත් තේරෙන බසින් ලියා ඇති ඒ අත් පත්‍රිකාව http://www.wfneurology.org/world-brain-day.

එහි කියනා විදිහට ඔනෑම පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක අයෙකුට ආඝාත තත්ත්වයක් (ස්ට්‍රෝක්  එකක්) හෝ ඩිමෙන්සියාව නම්  අමතක වීමේ රෝගය හෝ ජීවිත කාලය තුළ  ඕනෑම මොහොතකදී වැළඳීමේ අවදානමක් තිබේ. එහෙත්  මේවා කලින් වලක්වා ගත හැකි තත්වයක් බව බොහෝ දෙනා නොදනිති. ලොව පුරා මිලියන ගණනක් අසරණ අංශ බාග රෝගීන් හා ඩිමෙන්සියා රෝගීන්, පමණක් නොව ඔවුනගේ නෑසියෝද දහදුක් විඳිති.

ලෝ වැසියන් අබාධිතයන්  බවට පත් කරන ප්‍රධානම හේතුවක් වන්නේද මොළය සම්බන්ධ රෝගාබාධයන්ය. ඉතින් මේ අති සංකීර්ණ මිනිස් මොළය ගැන අපි දන්නා දේ ප්‍රමාණවත්ද ?  මේ පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම් තුලින් මානව සංහතිය වෙනුවෙන්ම කළ හැකි සේවය අනුපමේයි  නේද ?

****
ආ  ළඟදී සිට මට තිබෙන අමතක වීමේ තත්ත්වයක් නිසා කියන්නට බැරි වූ දෙයක්ද තිබෙයි.
මේ ඉහත කී තිස්සලා තුන්දෙනා යනු එකම එක පුද්ගලයෙක් බවය.
අනේ වාසනාවන් !. කරනවානම් ලෝකයට කරන්නට අපට කොයි තරම් දේ තිබෙනවාද?.

 

Thursday, July 3, 2014

අප්පොච්චියේ.....වලේ ගහ !

ලේ ගහ ගැන හැමෝම ලියලා . ඒ නිසා මොකුත් නොලියා ඉන්නයි හිතුවේ. ඒත් මුහුණු පොතේ  දහස් ගණනකගේ ශෝකාලාප කියෙව්වම මේ ගහ කොයි තරම් නම් ආදරයට ලක් වෙච්ච ගහක්ද කියලා හිතුනා .වල කිව්වේ පේරාදෙනි සරසවියේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය. ඒ මැද විරාජමානව දන්නා කාලෙක ඉඳන් වැඩ හිටපු රොබරෝසියා ගහ මේ සතියේ  අවසන් ගමන් ගිහින් .කඳේ ඇතුළතින් දිරා ගිය නිසා ආරස්සක පියවරක් විදිහට කපා දාලා කියලයි ආරංචි .

මම දන්නා තරමින් මේ ගහ තමයි ලකාවේ වැඩියෙන්ම නාට්‍යය බලාපු ගහ. පස්ස පේලිවලට නාට්‍යය හරියට පේන් නෑ කියලා , උදැල්ල දානවා කියලා වැඩියෙන්ම බැනුම් අහපු ගහත් ඕකයි. ඔය මොනා වුනත් මලින් බර වුනාම ඔය තරම් චමත්කාරයක් මැවූ ගහක් ගැනත් මං දන්නේ නෑ . ඒ වගේම තමන්ගේ සෙවනේ පෙම් බස් දෙඩු සිය දහස් ගණනක් මානව මානවිකාවන්ගේ හිස් මතට හීන් සැරේ එකින් එක ලා රෝස පැහැ සෙනෙහෙ මල් වස්සපු දයාබර ගහක් ඔය.

ඔය ගහේ  88 සහ 89 අඳුරු අවුරුදු වල මල් පිපුන් නෑ .සිසුන් අතුරුදන්වීම්, ඇඳිරි නීති මැද්දේ දිගට දිගට ගිය අරගල නිසා ඒ අවුරුදු දෙකේ වලේ නාට්‍ය පෙන්නුවෙත් නෑ . හැබැයි ඔන්න අනුවේ අවුරුද්දේ ආපහු මළ පාළුව සුද්ද බුද්ද කරලා සරසවි මානව මානවිකාවෝ ඔය පළාතේ ගැවසෙන්න පටන් ගත්තම , වලේ නාට්‍ය පෙන්නමු කියලා  ලක ලැස්ති වෙනකොට මෙන්න බොලේ ගහ පුරවලා මල් ආවා පැත්ත පලාතම චමත්කාරයෙන් පුරවමින්. හරියට අර යෝධයාගේ මල් උයනේ කතාවේ වගේ ( ඇත්ත කතාවනම් නම් අර අවුරුදු දෙකේ ඔය ගස්වල මල් පිපුනද නැද්ද බලන්දවත් කිසි කෙනෙක් ඒ පැත්ත පලාතෙවත් බැලුවේ නැති එක )

වලේ පෙන්නාපු නාට්‍යය බර ගානක රඟපාපු පේරාදෙනි සරසවියෙන්ම බිහිවෙච්ච සුපිරි කළා ශිල්පියෙක්නේ ජයලත් මනෝරත්න. උන්නැහේ වගේ වලට ආදරේ කරපු කළා කරුවෙක් මේ ගහ කපලා දාලා තියෙනවා දැක්කානම් හරියට කම්පා වේවි. අපිට කියවුනා වගේ ' අප්පොච්චියේ ' කියලා කියාවි.

අපේ යාලුවෙකුට වලත්, වලේ ගහත් ඔය මනෝරත්න උන්නැහේත් සම්බන්ධ කරලා පොඩි විහිලු කතාවකුත් හදලා තිබ්බ. කතාව මතක් කරේ අපේ රුවන් රත්නායක. දවසක් අපේ යාලුවා වලේ නාට්‍යයක් බල බලා ඉන්දැද්දී පොඩි වුවමනාවකට එලියට යන්ට හිතිලා. ඉතින් මිනිහා කරුවලේ දනි  පනි  ගාලා නැගිටලා අඩි  හතරක් යන්න වුනේ නැතිලු.

අනේ  කලබලෙත්  කළුවරත් නිසා  හරියට පෙනුනේ නැති යෝද රොබරෝසියා ගහේ හැප්පිලා පහළ පේලියට දොක්කන් උනාලු. ඒ පේලියේ හිටි කෙල්ලන් රොත්ත බය බිරාන්ත වෙලා එක පාර නැගිටිනවා වේදිකාවේ හිටි මනෝරත්න  දැක්කලු අඩ  අඳුරේම.

මනෝ 'අප්පොච්චියේ' කියලා මහා හයියෙන් කිව්වලු.

තව දවසක් ඔය රූස්ස රොබරෝසියා ගහ තිබ්බ පේලියේම  ඉඳන් අපි  හුණුවටයේ කතාව නරඹමින් ඉන්නකොට වෙච්ච  රසබර සිද්දියක් මෙතැන ලියලා තියෙනවා .

පේරාදෙණියෙන් පිටමන් වෙලා දසක දෙකක් ගෙවුනත් තාමත් ඒ චමත්කාරජනක කාලය ගැන දවසකට වරක් හරි මතක් වෙනවා.  වලේ ගහ සමුගත් බව ආරංචි වෙලා මගේ අතින් ලියවුනු, තාලයකට නැති කවියයි මේ . මෙතන 'සරා සඳ' කිව්වේ වලේ මැවුම්කරු මහැදුරු සරත්චන්ද්‍රයන් . එතුමා මිය ගිහින් එන අගෝස්තුවට අවුරුදු දහ  අටයි.

පහු ගිය ටිකෙත් නිතරම
ඔබ මතක් වුනා මට
නුවර ආ වෙලාවක
බලා අතගා ඔබේ මුදු බඳ
යන්න හිටියේ කොහෙද මේ වැඩ ගොඩ

කොයිතරම් මගේ දුක
ඔබට කිව්වාද මම
ඉස ඉස මලින් මල
ඔබ හිනැහුනා විතරනේ
ඈ වගේමයි ඔබත් හරිම හිතුවක්කාර

සරා සඳ බැස ගිහින්
දහ අටයි එන මහට
ඔබත් යන්නට ගියා
පාලු මුඩු බිමක් කොට
වලට පෙම් බැන්ද මගෙ හදවත

 Photo Courtesy ; Sunday Observer and Gauge News